අද (08) උදෑසන හොරණ රෝහල හන්දිය අසලදී සිදුවූ දරුණු රිය අනතුරකින් දෙදරු පියෙක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඔහුගේ බිරිඳ තුවාල ලබා හොරණ දිස්ත්‍රික් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී. මෙම අනතුර සිදුව ඇත්තේ වෑන් රථයක් හා යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටීමෙනි.
මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බෙල්ලපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 75 හැවිරිදි ඔල්වින් ඉන්ද්‍රසිරි මහතා බව පොලීසිය සඳහන් කරයි.
පොලිස් වාර්තා වලට අනුව, මෙම අනතුර සිදුව ඇත්තේ අද උදෑසන 6.00ට පමණ වන අතර, මොරගහේන ප්‍රදේශයේ කර්මාන්තශාලාවක සේවකයින් ප්‍රවාහනය කරන වෑන් රථයක් හොරණ දෙස සිට අඟුරුවාතොට දෙසට ගමන් කරමින් තිබී ඇත. එම අවස්ථාවේදී, අඟුරුවාතොට දෙස සිට සිල් සමාදන්වීම සඳහා ප්‍රදේශයේ විහාරස්ථානයකට යතුරුපැදියකින් ගමන් කරමින් සිටි මෙම අඹුසැමි යුවළ හොරණ රෝහල හන්දියෙන් දකුණු පසට හැරවීමට යාමේදී වෑන් රථයේ ගැටී අනතුර සිදුව තිබේ.
අනතුරින් වහාම තුවාල ලැබූ අඹුසැමි යුවළ ප්‍රතිකාර සඳහා හොරණ දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පිරිමි පුද්ගලයා මියගොස් ඇති බව පොලීසිය පැවසීය.
සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ, අනතුර සිදුවූ මොහොතේ වෑන් රථය මියගිය පුද්ගලයා සමග මීටර් 32ක් පමණ ඉදිරියට ඇදී ගොස් ඇති බවයි. තවද, අනතුරට ප්‍රධාන හේතුව වී ඇත්තේ වෑන් රථයේ අධික වේගය බවටද පොලිස් පරීක්ෂණවලදී තහවුරු වී තිබේ.
මෙම අනතුර සම්බන්ධයෙන් වෑන් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, හොරණ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.