ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලංකන් ගුවන් සේවය, පසුගියදා ඉන්දියාවේ නව දිල්ලි නුවරදී සාර්ථකව නිමාවූ ‘International Tourism Conclave and Travel Awards’ සම්මාන උළෙලේදී ‘දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවය’ ලෙසින් සම්මානයට පාත්‍ර වී තිබේ. රටක් ලෙස අපට අභිමානයක් එක් කරන මෙම ජයග්‍රහණය, දේශීය ගුවන් සේවයට ජාත්‍යන්තර පිළිගැනීමක් ගෙන එයි.
මෙම සුවිශේෂී සම්මානය හිමි වී ඇත්තේ, ශ්‍රී ලංකන් ගුවන් සේවයටම ආවේණික වූ සුවිශේෂී සත්කාරකත්වය සහ මගීන්ට ලබාදෙන විශිෂ්ටතම සේවාව වෙනුවෙනි. දකුණු ආසියාව සහ ලෝකය අතර සබඳතා ශක්තිමත් කරමින්, මගීන්ට සුවපහසු සහ අලංකාරවත් ගුවන් ගමන් අත්දැකීමක් ලබාදීමට ඔවුන් දක්වන කැපවීම මෙම සම්මානයෙන් තහවුරු වේ.
විවිධ ක්ෂේත්‍රවල ප්‍රවීණයන්ගෙන් සමන්විත වූ විනිශ්චය මණ්ඩලයක් විසින් මෙම සම්මාන උළෙලේ ජයග්‍රාහකයන් තෝරා ගන්නා ලදී. මෙය, දකුණු ආසියාවේ ජනප්‍රියම ගුවන් සේවයක් ලෙස ශ්‍රී ලංකන් ගුවන් සේවය සතු පිළිගැනීම තවදුරටත් තහවුරු කරන ප්‍රබල ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකිය.
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ වාණිජ ප්‍රධානී දිමුතු තෙන්නකෝන් මහතා මෙම ජයග්‍රහණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් මෙසේ පැවසීය: “දකුණු ආසියාවේ ගුවන් මගීන්ට විශිෂ්ටතම සේවාවක් ලබාදීම සඳහා අප දරන උත්සාහය බෙහෙවින් සාර්ථක වී ඇති බවට මෙම සම්මානය මනා සාක්ෂියක්. ප්‍රධාන ගමනාන්ත රාශියක් වෙත ගුවන් ගමන් ක්‍රියාත්මක කරමින් අප ලබාදෙන විශිෂ්ට සේවාව නිසා මෙම කලාපයේ ජනප්‍රියම ගුවන් සේවයක් බවට පත්වීමට අපට හැකි වී තිබෙනවා. මෙම සම්මානය, අපගේ මගීන්ට පෙරටත් වඩාත් උසස් සේවාවක් ලබාදීම සඳහා අප දිරිගන්වනු ඇති බවට සැකයක් නැහැ.”
මෙම ජයග්‍රහණය, ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට මෙන්ම දේශීය ගුවන් සේවයටද නව ජවයක් ලබා දෙනු නොඅනුමානය.
