පාසල් සිසුවියක් රවටා රැගෙන ගොස් හපුතලේ ප්‍රදේශයේ නිවසක රඳවාගෙන සිටි තරුණයෙකු ලිදුල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම සිසුවිය ලිදුල පොලිස් වසමට අයත් ලෝගි වතුයායේ පදිංචි 15 හැවිරිදි දැරියක් බවත්, තලවකැලේ ප්‍රදේශයේ ප්‍රධාන දමිළ පාසලක 10 වසරේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවක් බවත් සඳහන් වෙනවා.
සිද්ධියට අදාළ තරුණයා සමග ඇය ෆේස්බුක් සමාජ ජාලය ඔස්සේ මිතුරු වී ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් තිබෙනවා. පසුගිය 15 වන දා මෙම තරුණයා විසින් නානුඔය දුම්රිය ස්ථානයට එන ලෙස සිසුවියට දැනුම් දී ඇති අතර, ගෙදරට නොදන්වාම ඇය එහි ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
එම අවස්ථාවේදී සැකකරු සිසුවිය දුම්රියෙන් හපුතලයට රැගෙන ගොස් ඇති බව ලිදුල පොලීසියේ මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
මෙම සිසුවියගේ මව ගෘහ සේවය සඳහා විදේශගත වී ඇති අතර, පියා භාරයේ සිටි දියණිය නිවසේ නොමැති බවට පියා විසින් ලිදුල පොලීසියට පැමිණිල්ලක් කර තිබුණා. ඒ අනුවයි පොලිස් විමර්ශන ඇරඹුණේ.
පොලීසිය විසින් සිසුවියගේ දුරකථන අංකය විශ්ලේෂණය කිරීමෙන් පසු හපුතලේ ප්‍රදේශයේදී සැකකාර තරුණයා අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබෙනවා.
අත්අඩංගුවට ගත් පාසල් සිසුවිය නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. එසේම, සැකකාර තරුණයා නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව ලිදුල පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.