කුරුණෑගල, මාවතගම ප්‍රදේශයේ වෙල්යායක අතහැර දමාගොස් සිටියදී සොයාගත් බිළිඳියගේ භාරකාරීත්වය ලබාගැනීමට ඇගේ මව ඉදිරිපත් වුවහොත්, ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැපයීමට කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය සූදානම් බව විෂයභාර අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය ඊයේ (18) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රකාශ කළාය.
මේ අතර, කුරුණෑගල ශික්ෂණ රෝහලේ නොමේරු ළදරු ඒකකයේ ප්‍රතිකාර ලබන එම බිළිඳිය යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
මෙම බිළිඳිය සොයාගනු ලැබුවේ පසුගිය 17 වැනිදා පෙරවරුවේ කුරුණෑගල, මාවතගම, පරගහදෙණිය, සිංහපුරපාර ප්‍රදේශයේ වෙල්යායක ගසක් යට දමාගොස් තිබියදීය. සිද්ධිය සැලවීමෙන් පසු පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව බිළිඳිය මුලින්ම මාවතගම රෝහලට ඇතුළත් කළ අතර, පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට මාරු කර එවන ලදි.
බිළිඳිය සොයාගත් අවස්ථාවේදී, පොලීසියේ ඉල්ලීම මත ඇයව දෑතට ගැනීමට අවට සිටි කාන්තාවන් ඉදිරිපත් නොවීම නිසා, P.A. චන්දන කුමාර ජයවර්ධන නම් පුද්ගලයෙකු තම ටී ෂර්ටය ගලවා එයින් බිළිඳිය ආවරණය කර දෑතට ගත් අයුරු සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහට ලක්විය. ඕවත්තාවෙල, වෑ උඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මොහු වෘත්තියෙන් රියැදුරුවරයෙකි.
කාන්තා හා ළමා කටයුතු අමාත්‍යවරිය ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී වැඩිදුරටත් සඳහන් කළේ, මෙම බිළිඳියගේ මව සොයා මේ වන විටත් විමර්ශන සිදුවන බවයි.