බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර පැවති T20I තරගාවලියේ තීරණාත්මක අවසන් තරගය කොළඹ, ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති අතර, එහිදී විශිෂ්ඨ දක්ෂතා දැක්වූ මහේදි හසන් සහ තන්සිඩ් හසන් තමිම්ගේ දායකත්වයෙන් කඩුලු 8ක විශිෂ්ඨ ජයක් ලබා ගනිමින් බංග්ලාදේශය ඓතිහාසික තරගාවලි ජයක් තහවුරු කර ගත්තේය. මෙය ශ්‍රී ලංකාවට එරෙහිව බංග්ලාදේශය ලැබූ පළමු T20I තරගාවලි ජයග්‍රහණය ලෙස ඉතිහාසයට එක් විය.
මන්දගාමී තණතීරුවකදී ශ්‍රී ලංකා කණ්ඩායමේ බිඳවැටීමේ නිර්මාතෘවරයා වූයේ මහේදි හසන්ය. ඔහු ලකුණු 11කට කඩුලු 4ක් දවා ගනිමින් සිය ක්‍රීඩා දිවියේ හොඳම පන්දු යැවීමේ දක්ෂතාව වාර්තා කළේය. මෙය කොළඹදී T20I තරගයකදී පන්දු යවන්නෙකු වාර්තා කළ හොඳම දක්ෂතාව වන අතර, 2012 T20 ලෝක කුසලානයේදී එංගලන්තයට එරෙහිව හර්බජන් සිං වාර්තා කළ 4/12ක දක්ෂතාව බිඳ දැමීමට මහේදි සමත් විය.
කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පතුම් නිස්සංක පන්දු 39කින් ලකුණු 46ක් රැස් කරමින් ඉනිම ගොඩනැගීමට උත්සාහ කළද, පන්දු වාර 15ක් අවසන් වන විට කඩුලු 6ක් දැවී ලකුණු 94ක් ලෙස අසීරු තත්ත්වයකට පත්විය. දසුන් ශානක අවසන් පන්දු වාරයේදී ලකුණු 22ක් ඇතුළුව පන්දු 25කින් නොදැවී ලකුණු 35ක් රැස් කරමින් මුළු ලකුණු සංඛ්‍යාව 132/7ක් දක්වා ඉහළ දැමුවද, එය තරගය ජයගැනීමට කිසිසේත්ම ප්‍රමාණවත් නොවීය.
ලකුණු 133ක ජයග්‍රාහී ඉලක්කය හඹා ගිය බංග්ලාදේශයට පළමු පන්දුවෙන්ම පර්වේස් හොසේන් ඊමොන්ගේ කඩුල්ල අහිමි වුවද, තන්සිඩ් හසන් තමිම් විශිෂ්ඨ පිතිහරඹයක් දියත් කළේය. ඔහු පන්දු 47කින් නොදැවී ලකුණු 73ක් රැස් කළ අතර, ඊට හයේ පහර 6ක් ඇතුළත් විය. ලිටන් දාස් ලකුණු 32ක් ලබා ගත් අතර, තව්හිඩ් හ්‍රිඩෝයි සමඟ නොබිඳුණු ලකුණු 59ක සබඳතාවක් ගොඩනගමින් තන්සිඩ්ට අනගි සහයෝගයක් ලබා දුන් අතර, ඔවුන් පන්දු වාර 16.3ක් තුළදී පහසුවෙන් ජයග්‍රාහී ඉලක්කය පසු කළේය.
මුල් කඩුල්ල ලබා ගත්තද, ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට බංග්ලාදේශ පිතිකරුවන්ට පීඩනයක් එල්ල කිරීමට නොහැකි විය. ආරම්භක තරගය ජයග්‍රහණය කළද, ඉතිරි තරග දෙකම පරාජය වීමත් සමග ශ්‍රී ලංකා කණ්ඩායමට තරගාවලිය බලාපොරොත්තු කඩවනසුලු ලෙස අහිමි විය.
කෙටි ලකුණු සටහන: ශ්‍රී ලංකාව: පන්දු වාර 20කදී කඩුලු 7ක් දැවී ලකුණු 132 (පතුම් නිස්සංක 46, දසුන් ශානක 35*; මහේදි හසන් 4/11) බංග්ලාදේශය: පන්දු වාර 16.3කදී කඩුලු 2ක් දැවී ලකුණු 133 (තන්සිඩ් හසන් 73*, ලිටන් දාස් 32; කමින්දු මෙන්ඩිස් 1/21, නුවන් තුෂාර 25)