ශ්‍රී ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාව මේ වන විට දරුණු මූල්‍ය අර්බුදයකට මුහුණ දී සිටින බව වාර්තා වේ. මෙම තත්ත්වය සමනය කර ගැනීම සඳහා ආයතනයේ වියදම් කපා හැරීමට සහ සීමා කිරීමට සංස්ථාව පියවර ගෙන තිබේ. අදාළ ක්‍රියාමාර්ග පසුගිය ජූලි මස 01 වැනි දින සිට ක්‍රියාත්මක වේ.
සංස්ථාවේ සභාපතිවරයාගේ උපදෙස් මත සාමාන්‍යාධිකාරීවරයා විසින් මේ සම්බන්ධයෙන් වන උපදෙස් මාලාවක් නිකුත් කර ඇත. දේශීය මූල්‍ය තත්ත්වය සැලකිල්ලට ගනිමින්, ආයතනයේ මුදල් කළමනාකරණය වඩාත් කාර්යක්ෂම කිරීමට මෙලෙස පියවර ගෙන තිබේ.
මෙම වියදම් කප්පාදු අතරින් ප්‍රධාන වශයෙන්, ආයතනයේ ප්‍රධානීන් ඇතුළු නිල වාහනවල රාජකාරී ගමන් හැකි තරම් සීමා කිරීමට උපදෙස් දී ඇත. එමෙන්ම, රැස්වීම් සඳහා Zoom වැනි මාර්ගගත තාක්ෂණය උපයෝගී කර ගන්නා ලෙසත්, ධීවර වරායන් වෙත රාජකාරී සඳහා යොදා ගන්නා සංස්ථා වාහන අත්‍යවශ්‍ය කටයුතු වලට පමණක් සීමා කරන ලෙසත් දන්වා ඇත.
තවදුරටත්, සේවකයන්ගේ වාර්ෂික විනෝද චාරිකා සඳහා ලබා දෙන සංස්ථා දායකත්වය ද තාවකාලිකව අත්හිටුවා තිබේ. වාර්ෂික ප්‍රසම්පාදන සැලැස්මට හැකි තරම් අනුගත වෙමින්, අමතර ඉල්ලීම් සඳහා ප්‍රසම්පාදන කටයුතු ඇරඹීම නතර කිරීමට ද පියවර ගෙන ඇත.
සංස්ථා සේවකයන්ගේ අවමංගල්‍ය හා මංගල උත්සව සඳහා සංස්ථාවේ ප්‍රවාහන පහසුකම් ලබා දීම ද තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇති බව සඳහන් වේ. අත්‍යවශ්‍ය නොවන මිලදී ගැනීම් හැකිතාක් දුරට සීමා කිරීමටත්, මාසික වියදම් පාලනය කිරීමටත් දැඩි අවධානයක් යොමු කර තිබේ.
ඊට අමතරව, අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකා සකස් කිරීමේදී A4 ප්‍රමාණයේ කොළ දෙපසම මුද්‍රණය කිරීම සහ ලිපි ගබඩා කිරීම සඳහා හැකි සෑම විටම විද්‍යුත් තැපෑල (Email) සහ ස්කෑනර් භාවිත කිරීම වැනි ක්‍රමවේද හරහා වියදම් කළමනාකරණය කිරීමට ද උපදෙස් දී ඇත. මෙම පියවරයන් මගින් සංස්ථාව මුහුණ දෙන මූල්‍ය අභියෝගයන්ට සාර්ථකව මුහුණ දීමට අපේක්ෂා කෙරේ.