මැදගම පොලිස් වසමට අයත් බලගස්ආර ප්‍රදේශයේ ඊයේ (14) සවස සිදුවූ වෙඩි තැබීමකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ. පවුල් ආරවුලක් දුරදිග යාම හේතුවෙන් සැමියා විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවට පොලීසිය සැක කරයි.
බලගස්ආර මාර්ගය ආසන්නයේ කාන්තාවක් වෙඩි වැදී බිම වැටී සිටින බවට මැදගම පොලිසියට ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන් කණ්ඩායමක් වහාම එම ස්ථානයට ගොස් ඇත. එම කාන්තාව රෝහල් ගත කිරීමට කටයුතු කළද, ඒ වන විටත් ඇය මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
මියගිය කාන්තාව මැදගම, මකැන්දවින්න ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි අයෙකි. මෙම වෙඩි තැබීම සඳහා දේශීයව නිෂ්පාදිත ගිනි අවියක් භාවිතා කර ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
මියගිය කාන්තාවගේ සිරුර මැදගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, සැකකාර සැමියා ප්‍රදේශයෙන් පලා ගොස් ඇත. ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා මැදගම පොලීසිය මේ වන විටත් පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.