වාර්තාකරු: ජනක තරංග හේවාසූර
ජුනි මස 01 වන දින මාවනැල්ල සහ දික්වැල්ල පොලිස් වසම් තුළ සිදුකළ වැටලීම් දෙකකදී අයිස් (ICE) මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි. මෙම වැටලීම් පොලිස් බුද්ධි තොරතුරු මත පදනම්ව සිදුකර ඇත.
පළමු සිදුවීම දික්වැල්ල පොලිස් වසමෙන් වාර්තා වේ. ජුනි 01 දින සවස් කාලයේ දික්වැල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් කළුකැටිය ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 30ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මීට අමතරව, මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැකකෙරෙන රුපියල් 16,500ක මුදලක්ද පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 42ක් වන අතර, දික්වැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව දික්වැල්ල පොලීසිය පවසනවා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් දික්වැල්ල පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරන බව සදහන් වෙනවා.
දෙවන වැටලීම මාවනැල්ල පොලිස් වසමේදී සිදුවී තිබෙනවා. ජුනි 01 දින දහවල් කාලයේ මාවනැල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් දනාගම ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05 මිලිග්‍රෑම් 350ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම සැකකරු සන්තකයේ තිබී මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැකකෙරෙන රුපියල් 22,600ක් සහ ජංගම දුරකථන 09ක් ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට පත් සැකකරු වයස අවුරුදු 27ක් වන අතර, දනාගම, මාවනැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව සදහන්.
මෙම සිද්ධීන් දෙක සම්බන්ධයෙන්ම අදාළ පොලිස් ස්ථාන වැඩිදුර විමර්ශන සිදුකරගෙන යන බවත්, අත්අඩංගුවට ගත් සැකකරුවන් ඉදිරි අධිකරණ කටයුතු සඳහා ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි. මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවද පොලිසිය පෙන්වා දෙයි.