ඊශ්‍රායෙලයේ පවතින ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් ඊශ්‍රායෙලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා සමාජ මාධ්‍ය ඔස්සේ නිවේදනයක් නිකුත් කර තිබේ.
ඉරානය විසින් එල්ල කරන ලද ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර ඊයේ දිවා රෑ පුරාම සිදු වූ අතර, ඒවායින් බොහොමයක් මිසයිල සහ ඩ්‍රෝන යාත්‍රා විනාශ කිරීමට ඊශ්‍රායෙල් ආරක්ෂක අංශ සමත් විය. මෙම ප්‍රහාරවල ප්‍රධාන ඉලක්ක වූයේ ටෙල්-අවිව්, හයිෆා සහ ජෙරුසලම් නාගරික කලාපයන් ය.
එමෙන්ම ඊශ්‍රායෙලයේ සේවය කරන සියලුම විදේශ සේවකයන්ට ආරක්ෂක අමාත්‍යාංශයේ ආරක්ෂිත තොරතුරු ඇතුළත් App එක ජංගම දුරකථනයට ඇතුළත් කරගෙන, ඔවුන්ගේ උපදෙස් අනුව කටයුතු කරන ලෙස PIBA ආයතනය දැනුම් දී ඇත.
ප්‍රහාර හේතුවෙන් තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයන් හතර දෙනාගේ තත්ත්වය යහපත් වන අතර, ඔවුන්ට නැවත සේවය කිරීමේ අවස්ථාව දින කිහිපයක් තුළ ලැබෙනු ඇත. තවද, ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකුගේ පදිංචි ස්ථානවලට හානි සිදුවී ඇති අතර, ඔවුන්ට නව නවාතැන් ලබාදීමට ඔවුන් සේවය කරන සමාගම් කටයුතු කර ඇත. ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සේවය කරන කාර්ය මණ්ඩල සාමාජිකයෙකුගේ නිවසකටද හානි සිදුවී ඇතත් ඇයට අනතුරක් සිදුවී නොමැත.
හදිසි අවශ්‍යතා මත ඊශ්‍රායලයෙන් පිටත්ව යාමට අවශ්‍ය නම්, ඊශ්‍රායලයේ දකුණුදිග ප්‍රධාන නගරය වන Eilat නගරය හරහා ජෝර්දානය සහ ඊජිප්තුව වෙත ගමන් කොට කයිරෝ සහ අම්මාන් ජාත්‍යන්තර ගුවන් තොටුපළවල් හරහා පිටත්ව යාමට හැකියාව ඇත.
ඊශ්‍රායෙලයට ගුවන් යානා ගමන් නොකිරීම හේතුවෙන් ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන් ඉල්ලා ඇති ගුවන් ගමන් බලපත්‍ර ලැබීම ප්‍රමාද විය හැකි නමුත්, අදාළ රාජ්‍ය තාන්ත්‍රික ගමන් මල්ල ඊජිප්තුව හරහා DHL සමාගම මගින් ලබා ගැනීමට සාකච්ඡා කරමින් පවතී.
පවතින ප්‍රවාහන ගැටලු හේතුවෙන් සමහර ප්‍රදේශවල යම් යම් ආහාරවල හිඟතාවයක් ඇතිවිය හැකි බැවින් අවම වශයෙන් සතියකට අවශ්‍ය ආහාර ළඟ තබා ගන්නා ලෙස උපදෙස් දෙනු ලැබේ.
සමහර ජාත්‍යන්තර මාධ්‍ය ඊශ්‍රායලයට සිදුවූ ප්‍රහාර පිළිබඳව ප්‍රමාණය ඉක්මවා තොරතුරු විකාශනය කිරීම හේතුවෙන් ශ්‍රී ලාංකිකයන්ගේ සමීපතමයින් අනවශ්‍ය ලෙස කලබල වී ඇත. ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මෙහි සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව පිළිබඳව තොරතුරු යාවත්කාලීන කරන අතරම ඔවුන් පිළිබඳව අවධානයෙන් පසුවන බව දන්වා ඇත.
තවද ශ්‍රී ලංකාවට ගොස් සිටින පිරිසට නැවත ඊශ්‍රායලයට පැමිණීමට ඊජිප්තුව හරහා ගමන් කරන ලෙස උපදෙස් ලබා දී ඇති අතර, ඔවුන්ට ඊජිප්තුව සඳහා අවශ්‍ය වීසා ලබා ගැනීමට තානාපති කාර්යාලයේ සහාය ලබා ගත හැකි බවද නිවේදනයේ දැක්වේ.