ග්‍රාමීය මාර්ග 1800ක් මේ වසරේ සංවර්ධනය කිරීමට ඉලක්ක කර ඇති බව අමාත්‍ය බිමල් රත්නායක පවසයි.
ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසන්නේ, මෙම වසර අවසන් වීමට පෙර දිවයින පුරා ග්‍රාමීය මාර්ග 1800ක් සංවර්ධනය කිරීමට රජය ඉලක්ක කර ඇති බවයි.
අවිස්සාවේල්ල මැතිවරණ බල ප්‍රදේශයේ, සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, කොස්ගම දකුණු කඩුගොඩ පුස්සැල්ල මාර්ගයේ සංවර්ධන කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය. මෙම මාර්ගය සංවර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන 65ක මුදලක් වැය කෙරේ.
මෙම වැඩසටහනට සමගාමීව දිවයින පුරා තවත් ස්ථාන 57ක ග්‍රාමීය මාර්ග ව්‍යාපෘති 57ක වැඩ කටයුතු පසුගියදා ආරම්භ කර ඇති අතර, එම ව්‍යාපෘති සඳහා රුපියල් මිලියන 14,000ක් පමණ වැය කිරීමට ඇස්තමේන්තු කර තිබේ.
"පොහොසත් රටක් ලස්සන ජීවිතයක්" යන රජයේ ප්‍රතිපත්තිය යථාර්ථයක් බවට පත් කිරීමට රජය කැපවී සිටින බවත්, ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම තුළින් ගම්බද ජනතාවගේ ජීවිතවලට නව පණක් ලබා දීමට රජය අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, සංවර්ධන කටයුතු වලදී නාස්තිය හා දූෂණය පිටුදැකීමට සියලුදෙනාගේ සහයෝගය අපේක්ෂා කරන බව ද පැවසීය.
ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ග්‍රාමීය මාර්ග සංවර්ධනය සඳහා තවත් මිලියන 5,000ක අමතර මුදලක් වෙන් කර ඇති බවත්, එම මුදල් විනිවිදභාවයෙන් යුතුව නිසි පරිදි කළමනාකරණය කරමින් ජනතාවගේ ජීවිතවලට යහපතක් සැලසීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
මෙම අවස්ථාවට ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සුරියආරච්චි, මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති ටී. පාස්කරන්, අධ්‍යක්‍ෂ ජනරාල් විමල් කණ්ඩම්බි යන මහත්වරු ඇතුළු නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් විශාල පිරිසක් සහභාගී වූහ.