ජර්මනියේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (13) බර්ලිනයේ වෝල්ඩෝෆ් ඇස්ටෝරියා හෝටලයේදී ජර්මානු ආර්ථික සහයෝගිතා හා සංවර්ධන ඇමති රීම් අලබාලි-රඩොවන් මහත්මිය හමුවිය.
මතු වන ගෝලීය ආර්ථික ප්‍රවණතා හමුවේ දෙරට මුහුණ දෙන පොදු ආර්ථික අභියෝග පිළිබඳව මෙහිදී සාකච්ඡා විය. ශ්‍රී ලංකාව සහ ජර්මනිය අතර ආර්ථික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කළ හැකි ක්ෂේත්‍ර පිළිබඳව ද්විපාර්ශ්විකව පුළුල් සංවාදයක් පැවැත්විණි.
ජනාධිපතිවරයා, ශ්‍රී ලංකාව සහ ජර්මනිය අතර පවතින දිගුකාලීන ද්විපාර්ශ්වික සහයෝගීතාවය සිහිපත් කළේය. ජර්මනිය විසින් සිලෝන් ජර්මන් තාක්ෂණික පුහුණු ආයතනය (CGTTI) වැනි වෘත්තීය පුහුණු ආයතනවලට මෙන්ම සෞඛ්‍ය සේවා වැනි අංශවලට ලබා දී ඇති සැලකිය යුතු දායකත්වය ද මෙහිදී ඇගයීමට ලක් කෙරිණි. අනාගතයේදී එවැනි දායකත්වයන් අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රතිලාභ අත්වන හවුල්කාරිත්වයන් බවට වැඩිදියුණු කිරීමේ වැදගත්කම පිළිබඳව ද අවධානය යොමු කෙරිණි.
මෙම හමුවට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ඇමති විජිත හේරත්, ජර්මනියේ ශ්‍රී ලංකා තානාපතිනී වරුණි මුතුකුමාරණ සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ යුරෝපය සහ උතුරු ඇමරිකාව සඳහා අංශයේ අධ්‍යක්ෂ ජනරාල් සුගේෂ්වර ගුණරත්න යන මහත්ම මහත්මීහු ඇතුළු නිලධාරීන් පිරිසක් ද සහභාගී වූහ.