පුනරින් පොලිස් වසමට අයත් තම්බිරායි මාර්ගයේදී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහර දීම හේතුවෙන් ඔහු මියයාම සම්බන්ධයෙන් පුනරින් පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ. මෙම සිද්ධිය 2025 මැයි 31 වන දින සවස් කාලයේ සිදුවී ඇත.
පහරදීමෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයා මුලින්ම පුනරින් රෝහලට ඇතුළත් කර ඇති අතර, පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කිලිනොච්චිය රෝහලට මාරු කර යවා ඇත. එහිදී ඔහු මිය ගොස් ඇත.
මියගිය පුද්ගලයා සෙම්මන්ගුණුඩු, පුනරින් ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි අයෙකි.
පොලිස් විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ දෙපිරිසක් අතර පැවති පැරණි ආරවුලක් දුරදිග යාම මෙම ඝාතනයට හේතුවී ඇති බවයි.
මියගිය පුද්ගලයාගේ සිරුර කිලිනොච්චිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පුනරින් පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරමින් සිටී.