මැද පෙරදිග කලාපයේ උණුසුම තව තවත් වැඩි කරමින් ඉරානය සහ ඊශ්‍රායලය එකිනෙකාට ප්‍රහාර එල්ල කරගෙන තිබෙනවා. ඉරානය ඊශ්‍රායලයේ ටෙල් අවිව් නගරයට මිසයිල ප්‍රහාරයක් එල්ල කළ අතර, ඊශ්‍රායලය ඉරානයේ ඉස්ෆහාන් න්‍යෂ්ටික බලාගාරයට පහර දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඉරානය එල්ල කළ මිසයිල ප්‍රහාරයෙන් ටෙල් අවිව් අසල හොලොන් නගරයේ ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන තිබුණත්, වාසනාවකට කිසිදු ජීවිත හානියක් සිදුවී නැහැ. ඊශ්‍රායලය පවසන පරිදි ඉරානය බැලස්ටික් මිසයිල පහක් එල්ල කර ඇති නමුත්, ඒවායේ බලපෑම පිළිබඳව ක්ෂණිකව තක්සේරු කිරීමට නොහැකි වී තිබෙනවා.
ඊට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායලය ඉරානයේ කොම් නගරයේ නේවාසික ගොඩනැගිල්ලකට සහ ඉස්ෆහාන් න්‍යෂ්ටික බලාගාරයට ප්‍රහාර එල්ල කර තිබෙනවා. මෙම ප්‍රහාරයෙන් න්‍යෂ්ටික බලාගාරයට හානි සිදුවී නැති අතර, අනතුරුදායක කාන්දුවීම් වාර්තා වී නැහැ. නමුත්, පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් තවත් හතර දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
මෙම ප්‍රහාර හටගෙන ඇත්තේ ඉරානය තුළ නව ප්‍රහාර රැල්ලක් ආරම්භ කරන බවට ඊශ්‍රායලයේ ආරක්ෂක අංශ අනතුරු ඇඟවීමෙන් පසුවයි. තවද, ඊශ්‍රායලය සිය ආක්‍රමණශීලී ක්‍රියා නතර කරන තුරු ඇමරිකාව සමඟ සාකච්ඡා නොකරන බව ඉරානය අවධාරණය කර තිබෙනවා. එපමණක් නොව, සිය න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන්ද කිසිදු සාකච්ඡාවකට සුදානම් නැති බව ඉරානය පවසා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මෙම තත්වය තුළ මැද පෙරදිග කලාපයේ අස්ථාවරත්වය තවදුරටත් වැඩිවෙමින් පවතින අතර, ඉදිරි දින කිහිපය තුළ තත්වය තවත් උත්සන්න විය හැකි බව විචාරකයින්ගේ මතයයි.
ooooooooooh
ReplyDelete