මැයි 6 වැනිදා පැවති පළාත් පාලන මැතිවරණයෙන් පසුව තේරී පත් වූ නව කොළඹ මහ නගර සභාවේ පළමු රැස්වීම හෙට (16) පැවැත්වීමට නියමිතයි.
බස්නාහිර පළාත් පළාත් පාලන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් සරංගිකා ජයසුන්දර මහත්මිය විසින් මේ සම්බන්ධයෙන් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
කොමසාරිස්වරිය නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව, පළමු රැස්වීම උදෑසන 9:30 ට ආරම්භ වීමට නියමිතයි.
කොළඹ නගර ශාලාවේදී පැවැත්වීමට නියමිත මෙම රැස්වීමේදී නව නගරාධිපතිවරයා සහ නියෝජ්‍ය නගරාධිපතිවරයා තෝරා පත් කර ගැනීම පළමු කාර්යය වනු ඇති.
පළාත් පාලන මැතිවරණයෙන් කිසිදු පක්ෂයකට පැහැදිලි බහුතරයක් ලබා ගැනීමට නොහැකි වූ හෙයින් නගරාධිපතිවරයෙකු තෝරා පත් කර ගැනීම සඳහා අනෙකුත් දේශපාලන කණ්ඩායම්වල සහයෝගය ලබාගෙන ඇති බව ජාතික ජන බලවේගයත්, සමගි ජන බලවේගයත් මෑත දිනවලදී නිවේදනය කළා.
පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලවලට අනුව ජාතික ජන බලවේගය ආසන 48 ක් ද, සමගි ජන බලවේගය ආසන 29 ක් ද, එක්සත් ජාතික පක්ෂය ආසන 13 ක් ද, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආසන 5 ක් ද දිනා ගත්තා.
මීට අමතරව, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ආසන 4 ක් ද, 03 දරන ස්වාධීන කණ්ඩායම ආසන 3 ක් ද, සර්වජන බලය ආසන 2 ක් ද, එක්සත් සාම සන්ධානය ද මැතිවරණ ප්‍රතිඵලවලට අනුව ආසන 2 ක් ද ලබා ගත්තා.
04 සහ 05 දරන ස්වාධීන කණ්ඩායම් ද ආසන දෙක බැගින් ලබා ගත්තා.
එපමණක් නොව, එක්සත් ජනරජ පෙරමුණ, ජාතික ජනතා පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ, පොදුජන එක්සත් පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය, 01 දරන ස්වාධීන කණ්ඩායම සහ 02 දරන ස්වාධීන කණ්ඩායම ද එක් ආසනය බැගින් ලබා ගත්තා.
කෙසේ වෙතත්, ආසන 117 කින් සමන්විත කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීම සඳහා එක් පක්ෂයකට අවම වශයෙන් ආසන 59 ක් වත් ලබා ගත යුතු වෙනවා.
ඒ අනුව, හෙට පැවැත්වීමට නියමිත ඡන්ද විමසීමෙන් පසුව කොළඹ මහ නගර සභාවේ නගරාධිපති සහ නියෝජ්‍ය නගරාධිපති පත් කිරීමට නියමිතයි.