ඉදිකිරීම් කටයුතු හේතුවෙන් නැගෙනහිර පර්යන්තයේ (East Container Terminal - ECT) මෙහෙයුම් කටයුතු තාවකාලිකව නවතා දැමීම තවදුරටත් සිදු නොවන බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය (SLPA) ඊයේ (10) නිවේදනය කළේය. මේ පිළිබඳව නැව් කර්මාන්තය දැනුවත් කරමින් වරාය අධිකාරිය මෙම සහතිකය ලබා දී තිබේ.
නව Ship-to-Shore (STS) දොඹකර 12ක් සහ Automated Rail-Mounted Gantry (ARMG) දොඹකර 40ක් ස්ථාපනය කිරීමේ සහ ක්‍රියාත්මක කිරීමේ අතිශය වැදගත් අදියර සාර්ථකව නිම කිරීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇත. පර්යන්තයේ සමස්ත සංවර්ධනය දිගටම සිදු වුවද, මෙම සන්ධිස්ථානයත් සමග දොඹකර ස්ථාපනය සඳහා සැලසුම් කළ බාධා කිරීම් අවසන් වන බව වරාය අධිකාරිය පෙන්වා දෙයි.
මෙම සංවර්ධනය, මිල අධික බාධා කිරීම් පිළිබඳව වරාය කර්මාන්තය තුළ පැවති බිය සමනය කිරීමට උපකාරී වනු ඇත. පසුගිය ජුනි 5 සිට ජුනි 19 දක්වා කාළගුණික තත්ත්වයන්ද සමග සිදු වූ සැලසුම්ගත මෙහෙයුම් නවතා දැමීම, වැදගත් භාණ්ඩ හුවමාරු පරිමාවට අහිතර ලෙස බලපානු ඇතැයි පුළුල් ලෙස අපේක්ෂා කෙරිණි.
SLPA ප්‍රධාන අධිකාරී - අලෙවි/මෙහෙයුම්, වන චාමර විජයවික්‍රම මහතා නිල නිවේදනයක් නිකුත් කරමින් මෙම ව්‍යාපෘතියේ නිමාව තහවුරු කළේය.
"මෙය ප්‍රධාන සන්ධිස්ථානයක් බව ප්‍රකාශ කිරීමට අපි ආඩම්බර වෙමු. මේ සමඟ, නැගෙනහිර පර්යන්තයේ මෙවැනි ස්වභාවයේ වසා දැමීම් තවදුරටත් සිදු නොවන අතර, අඛණ්ඩ මෙහෙයුම් සහතික කනවා" විජයවික්‍රම මහතා පැවසීය.
පර්යන්තයේ දිගුකාලීන සංවර්ධනය සැලසුම් කළ පරිදි සිදුවන බවද ඔහු වැඩිදුරටත් පැවසීය. "2026 වන විට, ගැඹුරු ජල නැංගුරම් ලෑම් තුනක්ද ඇතුළුව නව නෞකා නැංගුරම් ලෑම් අටක් සමඟ අපගේ හැකියාවන් තවදුරටත් ශක්තිමත් කරනු ලබනවා" ඔහු කීය.
පර්යන්තයේ මෙහෙයුම් කාර්යක්ෂමතාවය මතභේදයට තුඩු දුන් කරුණක් වී ඇති අතර, සමහර කර්මාන්ත විශේෂඥයින් ප්‍රසම්පාදන කළමනාකරණය සම්බන්ධ ගැටළු, ප්‍රමාදයන් සහ ප්‍රශස්ථ නොවන කාර්ය සාධනයට හේතු වූ බව පෙන්වා දී තිබේ. මෙම බාධාකාරී ඉදිකිරීම් අදියර අවසන් කිරීම, නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් වඩාත් ස්ථායී කිරීමට සහ ජාත්‍යන්තර නෞකා සමාගම් අතර විශ්වාසය ගොඩනැගීමට වැදගත් පියවරක් ලෙස සැලකේ.
මේ අතර, අදානි-JKH විසින් ඒකාබද්ධව කළමනාකරණය කරනු ලබන බටහිර පර්යන්තය (West Container Terminal - WCT), එහි පළමු අදියරේ පළමු සම්පූර්ණ මෙහෙයුම් මාසය පසුගියදා අවසන් කළේය. කෙසේ වෙතත්, නැගෙනහිර පර්යන්තයේ සම්පූර්ණ මෙහෙයුම් මේ වසරෙන් පසුවට කල් දමා ඇත.
ජනවාරි සිට අප්‍රේල් දක්වා කාලය තුළ, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පර්යන්ත වන ජය කන්ටේනර් පර්යන්තය (JCT), යුනිටි කන්ටේනර් පර්යන්තය (UCT), සහ අර්ධ වශයෙන් ක්‍රියාත්මක වන නැගෙනහිර පර්යන්තය (ECT) විසින් ටීඊයූ (TEUs - 20-foot equivalent units) 802,163 ක සම්පූර්ණ කන්ටේනර් පරිමාවක් හසුරුවා ඇත. මෙම අගය පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව සියයට 4.2 ක අඩුවකි.
2025 වසරේ මුල් මාස හතර තුළ, කොළඹ වරායේ සමස්ත කන්ටේනර් පරිමාව ටීඊයූ මිලියන 2.56 ක් වූ අතර, එය 2024 වසරේ එම කාලය තුළ හසුරුවන ලද ටීඊයූ මිලියන 2.64 ට සාපේක්ෂව සියයට 2.9 ක වසරින් වසර අඩුවීමක් පෙන්නුම් කරයි.