![]() |
පොදු ප්‍රවාහන සේවාව නවීකරණය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය යටතේ නියමු ව්‍යාපෘතියක් ලෙස මෙට්‍රෝ බස් රථ 100ක් ධාවනයට එක් කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත. සුවපහසු සහ නවීන තාක්ෂණයෙන් සමන්විත මෙම බස් රථ හඳුන්වා දීමට 2025 අයවැය මගින් ද යෝජනා කර තිබුණි.
බස්නාහිර පළාතේ කොළඹ, මාකුඹුර, කඩුවෙල, කඩවත සහ මොරටුව යන ප්‍රධාන මාර්ග කිහිපයක මගී ප්‍රවාහනය සඳහා මෙම පහත් පිවිසුම් සහිත බස් රථ යොදවනු ලැබේ.
ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයාගේ යෝජනාව සැලකිල්ලට ගෙන 2007 අංක 07 දරන සමාගම් පනත යටතේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් පරිපාලිත සමාගමක් පිහිටුවා මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය.
පොදු ප්‍රවාහන සේවාව රටක ආර්ථික හා සමාජ සංවර්ධනයට අත්‍යවශ්‍ය සාධකයකි. කාර්යක්ෂම හා විශ්වාසනීය පොදු ප්‍රවාහන සේවාවක් මගින් ගමනාගමනය පහසු කරවන අතර, මාර්ග තදබදය අවම කර කාලය හා ඉන්ධන ඉතිරි කර ගත හැකිය. එමෙන්ම, පරිසර දූෂණය අවම කිරීමට සහ අඩු ආදායම්ලාභීන්ට දැරිය හැකි මිලකට ගමනාගමන පහසුකම් සැලසීමට ද පොදු ප්‍රවාහන සේවාව වැදගත් වේ.