BREAKING NEWS 🔴 :

කොවිඩ් ප්‍රභේදයක් මෙරටින් හඳුනා ගැනේ

ආසියානු කලාපයේ මේ දිනවල ව්‍යාප්ත වෙමින් පවතින නව කොවිඩ් ප්‍රභේදයක් ශ්‍රී ලංකාවෙන් ද හඳුනාගෙන ඇති බව වෛද්‍ය පර්යේෂණ ආයතනය නිවේදනය කරයි.

ආසියානු කලාපයේ මේ දිනවල ව්‍යාප්ත වෙමින් පවතින නව කොවිඩ් ප්‍රභේදයක් ශ්‍රී ලංකාවෙන් ද හඳුනාගෙන ඇති බව වෛද්‍ය පර්යේෂණ ආයතනය නිවේදනය කරයි.


ඔමික්‍රෝන් වෛරසයට අදාළ අනු ප්‍රභේද වන එල් එෆ් පොයින්ට් සෙවන් (LF.7) සහ එක්ස් එෆ් ජී (XFG) යන අනු ප්‍රභේද ආසාදිත රෝගීන් මෙරටින් වාර්තා වී ඇති බව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස් රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා පැවසීය.


මෙම කොවිඩ් අනු ප්‍රභේද සම්බන්ධයෙන් අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නොමැති බවත්, කොවිඩ් වෛරසයේ නව ප්‍රභේද විටින් විට පැතිර යා හැකි බවත් ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ නිරන්තර අවධානයෙන් පසුවන බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.


එසේ වුවද, අවදානමට ලක්විය හැකි කාණ්ඩ ලෙස හඳුනාගෙන ඇති ගර්භණී මව්වරුන්, වැඩිහිටියන් හා නිදන්ගත රෝගීන් විශේෂයෙන් සැලකිලිමත් විය යුතු බව වෛද්‍ය ජූඩ් ජයමහ මහතා අවධාරණය කළේය. ඔවුන් මුඛ ආවරණ පැළඳීම, ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථානවල රැඳී නොසිටීම වැනි සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම වැදගත් බව ඔහු පෙන්වා දුන්නේය.


නව ප්‍රභේද පැතිරීම වැළැක්වීම සඳහා සෞඛ්‍ය අංශ ලබා දෙන උපදෙස් පිළිපැදීමෙන් සහ නිසි සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීමෙන් සියලුදෙනාටම ආරක්ෂිතව සිටිය හැකි බව විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා වැඩිදුරටත් පැවසීය.

මෙම පුවත ගැන ඔබගේ අදහස දක්වන්න

Post a Comment (0)
Previous Post Next Post