රජයේ සේවය වඩාත් කාර්යක්ෂම හා ඵලදායී කිරීම සඳහා කෘත්‍රිම බුද්ධිය (Artificial Intelligence) භාවිත කිරීම පිළිබඳ විශේෂ වැඩමුළුවක් අද (15) දින අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.
"රාජ්‍ය සේවය පරිවර්තනය සඳහා කෘත්‍රිම බුද්ධිය" (AI For Transforming Public Service) යන තේමාව යටතේ මෙම වැඩමුළුව සංවිධානය කර තිබුණි. ජනාධිපති කාර්යාලයේ නිලධාරීන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
රජයේ ප්‍රධාන වැඩසටහනක් වන රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙළට මෙය මූලික පියවරක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. කෘත්‍රිම බුද්ධිය පිළිබඳව රජයේ සේවකයින් තුළ ධනාත්මක ආකල්පයක් ඇති කිරීම ද මෙහි අරමුණයි.
ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය හාන්ස් විජේසූරිය මහතා මෙහි ආරම්භක දේශනය පැවැත්වූ අතර, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) විධායක අධ්‍යක්ෂ සංජය කරුණාසේන මහතා ද කෙටි දේශනයක් කළේය.
ICTA හි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් වන හර්ෂ පුරසිංහ සහ සමිස අබේසිංහ යන මහත්වරු ප්‍රායෝගික ක්‍රියාකාරකම් සමඟ දැනුවත් කිරීම් සිදු කළහ.
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ මහත්වරුන් ඇතුළු ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.