හෙට (මැයි 23) දිනයේ සිට දිවයින පුරා ග්‍රාම සේවා වසම් ආවරණය වන පරිදි "යෞවන සමාජ" ව්‍යාපෘතිය ආරම්භ කිරීමට රජය සූදානම් වන බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පවසයි. අනාගතයට සරිලන තරුණ පරම්පරාවක් බිහිකිරීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළේ එක් පියවරක් ලෙස මෙම ව්‍යාපෘතිය දියත් කෙරේ.
"යෞවන සමාජ" ව්‍යාපෘතිය එළිදැක්වීම සම්බන්ධයෙන් මාධ්‍ය දැනුම්වත් කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
මෙරට ප්‍රථම යෞවන සමාජ සම්මේලනය 1983 මැයි 23 වන දින ස්ථාපිත කරන ලද අතර, එම දිනය ජාතික තරුණ දිනය ලෙස නම් කර තිබීම විශේෂත්වයකි. හෙට සිට එළඹෙන ජූලි 31 දක්වා දිවයින පුරා සියලුම ග්‍රාම සේවා වසම් ආවරණය කරමින් යෞවන සමාජ 14,033ක් ආරම්භ කිරීමට නියමිතය.
මෙම ව්‍යාපෘතිය යටතේ තරුණ තරුණියන් සම්බන්ධ කර ගැනීම සඳහා සෑම කොට්ඨාසයකටම එක් තරුණ නිලධාරියෙකු බැගින් පත් කර ඇත. "යෞවන සමාජ" වලට ඒකරාශී වන තරුණ තරුණියන්ට ජාතික තරුණ සේවා සභාව මඟින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහන් සඳහා සහභාගී වීමටත්, තරුණ කටයුතු අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක වන ජාතික සහ ජාත්‍යන්තර වැඩසටහන් සඳහා සහභාගී වීමටත් අවස්ථාව හිමි වේ.
ප්‍රාදේශීය සහ කොට්ඨාස මට්ටමින් යෞවන සමාජ පිහිටුවීමෙන් අනතුරුව, අගෝස්තු 12 වන දිනට යෙදෙන ජාත්‍යන්තර තරුණ දිනයට සමගාමීව, සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ජාතික තරුණ සමුළුවක් පැවැත්වීමට ද සැලසුම් කර ඇතැයි නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
මෙම "යෞවන සමාජ" ව්‍යාපෘතිය මඟින් තරුණ තරුණියන්ට නායකත්ව කුසලතා වර්ධනය කර ගැනීමටත්, සමාජීය ගැටලු හඳුනාගෙන ඒවාට විසඳුම් සෙවීමටත්, තරුණ පරපුරේ අභිවෘද්ධිය වෙනුවෙන් කැපවීමටත් අවස්ථාව සැලසේ. තවද, තරුණ තරුණියන්ගේ කුසලතා හා හැකියාවන් ඔප්නැංවීමටත්, ඔවුන්ට අවශ්‍ය මඟ පෙන්වීම ලබාදීමටත් මෙම ව්‍යාපෘතිය මඟින් අපේක්ෂා කෙරේ.
රජයේ මෙම වැඩපිළිවෙළට සියලුම තරුණ තරුණියන්ගේ සහයෝගය ලබාදෙන ලෙසත්, එමඟින් අනාගත පරපුරේ සුබසිද්ධිය උදෙසා කැපවෙන තරුණ නායකයින් බිහි කිරීමට හැකිවනු ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.