ඊයේ (19) කටුනායක ගුවන් තොටුපොළේදී රේගු නිලධාරීන් විසින් "කුෂ්" මත්ද්‍රව්‍ය තොගයක් සමග ශ්‍රී ලාංකික කාන්තාවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. විදුලි උපකරණ තුළ සඟවාගෙන මෙම මත්ද්‍රව්‍ය තොගය රැගෙනවිත් ඇති අතර, ඔවුන් ගුවන් තොටුපොළේ ව්‍යාපාරිකයන් සඳහා වෙන්වූ "රක්ත මාවත" ඔස්සේ පිටව යාමට උත්සාහ කර ඇත.
අත්අඩංගුවට පත්ව ඇත්තේ කොළඹ, කොළොන්නාව ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි මවක් සහ ඇගේ 18 හැවිරිදි දියණියකි. අනෙක් කාන්තාව වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි ව්‍යාපාරික කාන්තාවකි.
මෙම කාන්තාවන් තායිලන්තයෙන් මෙම මත්ද්‍රව්‍ය මිලදී ගෙන ඇති අතර, වායුසමීකරණ සහ විදුලි ආහාර පිසීමේ උපකරණ 7ක් තුළ "කුෂ්" මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 12ක ප්‍රමාණයක් සූක්ෂම ලෙස සඟවාගෙන ඉන්දියාවේ චෙන්නායි වෙත ගෙන ගොස් ඇත. පසුව, ඔවුන් ඉන්ඩිගෝ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළට පැමිණ තිබේ.
මෙම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් මිලියන 120ක් පමණ වන බව සඳහන් වේ.
කටුනායක ගුවන් තොටුපොළ ආරක්ෂිත කැමරා පද්ධතිය නිරීක්ෂණය කිරීමෙන් රේගු නිලධාරීන් අනාවරණය කරගෙන ඇත්තේ, මෙම කාන්තාවන් මීට පෙර අවස්ථා ගණනාවකදීම මේ ආකාරයට විදුලි උපකරණ රැගෙන විත් ඇති බවයි.
අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය සහ කාන්තාවන් තිදෙනා වැඩිදුර විමර්ශන සඳහා කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දී ඇත.