සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම් මැඬපැවැත්වීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායේ (STF) කණ්ඩායම් 15ක් දිවයින පුරා යොදවා ඇති බව පොලීසිය නිවේදනය කරයි. මෙම කණ්ඩායම් මගින් සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් 18ක් සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීමට නියමිතය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා ඊයේ (19) පැවති මාධ්‍ය හමුවකදී මේ බව අනාවරණය කළේය. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මෙම වසරේ මේ දක්වා වෙඩි තැබීම් සිදුවීම් 46ක් වාර්තා වී ඇති බවයි. එම සිදුවීම්වලින් 31ක්ම සංවිධානාත්මක අපරාධ කල්ලි විසින් මෙහෙයවා ඇති බවට තොරතුරු ලැබී තිබේ.
මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන, සංවිධානාත්මක අපරාධකරුවන් සහ ඔවුන්ගේ ජාලයන් මර්දනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇත. මෙම මෙහෙයුම මගින් අපරාධ කල්ලිවලට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම, ඔවුන්ගේ නීතිවිරෝධී ක්‍රියාකාරකම් වැළැක්වීම සහ ප්‍රජාවට ආරක්ෂාව තහවුරු කිරීම අරමුණු කෙරේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේ, මෙම මෙහෙයුම සාර්ථක කර ගැනීම සඳහා මහජනතාවගේ සහයෝගය අත්‍යවශ්‍ය බවයි. ඒ අනුව, අපරාධ ක්‍රියාකාරකම් පිළිබඳව තොරතුරු වෙතොත් වහාම පොලීසියට දැනුම් දෙන ලෙස ඔහු මහජනතාවගෙන් ඉල්ලා සිටී.