2017 අංක 24 දරන දේශීය ආදායම් පනත සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී තිබේ. මෙම සංශෝධන මඟින් පොලී මත රඳවා ගැනීමේ බද්ද සම්බන්ධයෙන් වැදගත් වෙනස්කම් කිහිපයක් සිදු කිරීමට අපේක්ෂිතයි.
ඒ අනුව, වසරකට රුපියල් මිලියන 1.8ක් නොඉක්මවන තක්සේරු ආදායමක් සහිත සියලුම නේවාසික තැන්පත්කරුවන්ට, පොලිය මත රඳවා ගැනීමේ බද්දෙන් නිදහස් වීම සඳහා ස්වයං ප්‍රකාශනයක් ඉදිරිපත් කිරීමේ හැකියාව ලැබේ. තවද, සියලුම වර්ගයේ බැංකු ගිණුම් විවෘත කිරීමේදී බදු හඳුනාගැනීමේ අංකය (TIN) ඉදිරිපත් කිරීම අනිවාර්ය කිරීමට ද මෙහිදී යෝජනා වී ඇත.
මීට අමතරව, 2025 අප්‍රේල් 1 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි, රඳවා ගැනීමේ බදු අනුපාතය 5% සිට 10% දක්වා ඉහළ නැංවීම සඳහා වන නීතිමය ප්‍රතිපාදන 2025 අංක 2 දරන දේශීය ආදායම් (සංශෝධන) පනත මඟින් හඳුන්වා දී තිබේ.
රජය පෙන්වා දෙන්නේ, බදු අය කරනු ලබන වාර්ෂික ආදායම් සීමාව වන රුපියල් මිලියන 1.8 ඉක්ම නොවන ආදායම් ලබන පුද්ගලයන්ගෙන් පවා රඳවා ගැනීමේ බදු අය කිරීම හේතුවෙන්, එම තැන්පත්කරුවන් සහ අඩු ආදායම්ලාභී පුද්ගලයන් අපහසුතාවට පත්වන බවයි.
මෙම ගැටලුවට විසඳුමක් ලෙස, බදු නිදහස් සීමාවට වඩා අඩු ආදායම් ලබන පුද්ගලයන්ට ස්වයං ප්‍රකාශනයක් ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වා දීමට යෝජනා කර ඇත.
මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය ලෙස ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද මෙම යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබේ.