තෙලිකඩ සහ දෙල්වල පොලිස් වසම්වලින් (07) දින වාර්තා වූ මනුෂ්‍ය ඝාතන දෙකක් හේතුවෙන් ප්‍රදේශයම කම්පනයට පත්ව තිබේ. මෙම ඝාතන දෙකම පවුල් ආරවුල් සහ බහින්බස්වීම් දුරදිග යාමෙන් සිදුවී තිබීම විශේෂත්වයකි.
පළමු සිදුවීම වාර්තා වන්නේ තෙලිකඩ පොලිස් වසමේ, රෙජ්ජිපුර ප්‍රදේශයෙනි. අද අළුයම් කාලයේදී, බීමතින් සිටි ඥාති පුත්‍රයෙකු සහ මාමා අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුවී ඇත. පොලිසිය පවසන්නේ 44 හැවිරිදි ඥාති පුත්‍රයා විසින් 62 හැවිරිදි මාමාට පොල්ලකින් පහරදී ඝාතනය කර ඇති බවයි. මියගිය පුද්ගලයා බූස්ස, රෙජ්ජිපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, ඔහුගේ මෘත ශරීරය මේ වනවිට කරාපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ. සිද්ධියට සම්බන්ධ සැකකරු තෙලිකඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.
දෙවැනි ඝාතනය දෙල්වල පොලිස් වසමේ, ඇන්දානවත්ත, බන්ධ එක පාර ප්‍රදේශයෙන් වාර්තා වේ. එහිදී, 55 හැවිරිදි සැමියෙකු විසින් සිය 52 හැවිරිදි බිරිඳ තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ. පොලිස් මූලික විමර්ශනවලට අනුව, දෙදෙනා අතර කලක සිට පැවති පවුල් ආරවුලක් මෙම ඛේදවාචකයට හේතු වී ඇත. ඝාතනය සිදුකළ සැකකාර සැමියා දෙල්වල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
මෙම ඝාතන දෙක සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, තෙලිකඩ සහ දෙල්වල පොලිස් ස්ථාන මගින් වෙන වෙනම පරීක්ෂණ මෙහෙයවනු ලැබේ.
