ඊයේ (2025.07.23) අළුයම් කාලයේ, පදියතලාව පොලිස් වසමේ මරංගල ප්‍රදේශයෙන් හද කම්පා කරවන පුවතක් වාර්තා වේ. එහිදී තරුණියක් ඝාතනය කර ඇයගේ මවට සහ පියාටද තුවාල සිදු කළ පුද්ගලයෙකු ද සියදිවි හානිකරගෙන ඇති බවට පදියතලාව පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ලැබී ඇත. සිද්ධිය සම්බන්ධයෙන් පදියතලාව පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.
මරණයට පත්වූ තරුණිය වයස අවුරුදු 22ක් වූ මරංගල ප්‍රදේශයේම පදිංචිකාරිණියකි. මෙම සිදුවීමට සම්බන්ධ සැකකරු ලෙස සැලකෙන පුද්ගලයා වයස අවුරුදු 31ක් වූ මොනරාගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. දෙදෙනාම ගෙල කපාගෙන මියගොස් ඇති බවට තොරතුරු වාර්තා වේ.
පොලිසිය මේ වනවිට සිදුකර ඇති මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ, මියගිය තරුණිය සහ සැකකරු අතර පැවති ප්‍රේම සම්බන්ධතාවයක් දුරදිග යෑම මෙම ඛේදජනක සිදුවීමට හේතුවී ඇති බවයි. සිදුවීමෙන් තුවාල ලැබූ මියගිය තරුණියගේ මව සහ පියා මහ ඔය රෝහලට ඇතුළත් කර ඇති අතර, ඔවුන් මේ වනවිට නේවාසිකව ප්‍රතිකාර ලබයි.
මෘත ශරීර සිදුවීම වූ ස්ථානයේ පොලිස් ආරක්ෂාව යටතේ පවතින අතර, මේ සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතය. සිද්ධිය සම්බන්ධයෙන් පදියතලාව පොලිසිය තවදුරටත් විමර්ශන සිදු කරයි.