අලි ඇතුන්ට වෙඩි තබන පුද්ගලයින් අත්අඩංගුවට ගෙන නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් කඩිනමින් සකස් කරන ලෙස පරිසර අමාත්‍යාංශයේ ලේකම් කේ.ආර්. උඩුවාවල මහතාගේ අත්සනින් යුතු ලිපියක් මගින් මෙම ඉල්ලීම සිදුකර ඇත.
මෙම වසරේ මේ දක්වා වන අලි මරණ 232ක් වාර්තා වී ඇති අතර, මෑත දින කිහිපය තුළදී වන අලි සහ ඇතුන් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධීන් කිහිපයක් අඛණ්ඩව වාර්තා වීම මෙම ලිපිය යොමු කිරීමට හේතු වී තිබේ.
ඉනාමලූව රජයේ රක්ෂිතය තුළ මීට මාසයකට පමණ පෙර මිය යන්නට ඇතැයි සැකකෙරෙන ඇතෙකුගේ සහ තවත් වන අලි දෙදෙනෙකුගේ සිරුරු කොටස් හමුවී ඇති අතර, කලාවැව රක්ෂිතයේදී වෙඩි වැදී සිටි වයස අවුරුදු 8ත් 10ත් අතර ඇතකුට ප්‍රතිකාර කිරීම මේ වන විට ආරම්භ කර තිබේ. වනජීවී නිලධාරීන් පැවසුවේ එම ඇතාගේ ඉදිරි වම් පාදයට ඉහළින් වෙඩි වැදී ඇති බවයි.
වර්තමානයේ සිදුවන මෙම අලි ඇතුන්ගේ මරණ සහ වෙඩි තැබීම් පිටුපස කිසියම් පිරිසක් සිටින්නේද යන්න සම්බන්ධයෙන් සැකයක් පවතින බව වනජීවී අධ්‍යක්ෂ ජනරාල් රංජන් මාරසිංහ මහතා අද කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සඳහන් කළේය.
මේ අතර, පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි මහතා අද කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රසිද්ධ ජනතාවගෙන් ඉල්ලා සිටියේ අලි ඇතුන් සිටින ප්‍රදේශ පිළිබඳ තොරතුරු සමාජ මාධ්‍ය වෙත මුදාහැරීමෙන් වැළකී සිටින ලෙසයි.
අලි ඇතුන්ට හිරිහැර කරන පුද්ගලයින්ට මරණ දණ්ඩනය ලබා දිය හැකි ලෙස වනජීවී ආඥා පනත සංශෝධනය කළ යුතු බව ජාතික නාමල් උයනේ නිර්මාතෘ පූජ්‍ය වනවාසී රාහුල හිමියන් ද ප්‍රකාශ කර තිබේ.