පසුගිය ජුනි මාසයේ ඉන්දියාවේ අහ්මදාබාද් නුවර සිදුවූ දරුණු ගුවන් අනතුරකට හේතුව එන්ජින් සඳහා ඉන්ධන සැපයුම අක්‍රීය වීම බව මූලික පරීක්ෂණ වාර්තාවකින් තහවුරු වී තිබේ. මෙම අනතුරින් පුද්ගලයින් 260 දෙනෙකු ජීවිතක්ෂයට පත් විය.
ලන්ඩන් බලා පිටත් වීමට තිබූ එයාර් ඉන්දියා ගුවන් සේවයට අයත් මෙම යානය, අහ්මදාබාද් ගුවන්තොටුපොළෙන් ගුවන් ගත වී සුළු මොහොතකට පසු වෛද්‍ය විද්‍යාලීය නේවාසිකාගාර ගොඩනැගිල්ලක් මතට කඩා වැටී ඇත. යානයේ සිටි එක් මගියෙකු හැර සෙසු සියලු දෙනාම එම අනතුරින් මිය ගියහ.
ඉන්දීය ගුවන් යානා අනතුරු විමර්ශන කාර්යාංශයේ මූලික වාර්තාවට අනුව, මෙම අනතුර සිදුව ඇත්තේ ගුවන් යානයේ ඉන්ධන පාලනය කරන ස්විචයක් හදිසියේම ක්‍රියා විරහිත වීමෙනි. ගුවන් යානයේ 'කළු පෙට්ටියේ' සටහන්ව තිබූ දත්ත (පැය 49ක පියාසැරි දත්ත සහ පැය දෙකක නියමු කුටියේ ශ්‍රව්‍ය) පරීක්ෂා කිරීමේදී මෙම තොරතුරු අනාවරණය වී ඇත.
අනතුර සිදුවන මොහොතේ, යානයේ එන්ජින් දෙකෙහිම ඉන්ධන පාලන ස්විච තත්පරයක කාල පරතරයක් තුළ 'RUN' (ක්‍රියාත්මක) තත්ත්වයේ සිට 'CUTOFF' (නතර කිරීම) තත්ත්වයට මාරු වී ඇති බව වාර්තාවේ සඳහන් වේ. පටිගත වූ සංවාදවලට අනුව එක් නියමුවෙක් අනෙක් නියමුවාගෙන් මෙසේ වූයේ මන්දැයි විමසා ඇති අතර, අනෙක් නියමුවා එය තමා විසින් නොකළ බවට පිළිතුරු දී ඇත. ස්විචය නැවත සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට උත්සාහ කරන අතරතුර මෙම අනතුර සිදුව ඇති බව ද එම වාර්තාවේ දැක්වේ.
විමර්ශනවලින් හෙළි වී ඇත්තේ මෙම ඉන්ධන පාලන ස්විචය ස්වයංක්‍රීයව ක්‍රියාත්මක නොවන අතර, එය නියමුවන් විසින් අතින් ක්‍රියාත්මක කළ යුතු එකක් බවයි. මෙලෙස ඉන්ධන ස්විචයක් ක්‍රියාවිරහිත වීම 'ඉතා දුර්ලභ' සිදුවීමක් බව ගුවන් විශ්ලේෂකයින් පෙන්වා දෙයි.