කොළඹ, හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ පිහිටි නිවසකින් ටී-56 වර්ගයේ ගිනි අවියක් සොයා ගැනීමට වැල්ලවත්ත පොලීසිය සමත් වී තිබේ. පොලීසියට ලද තොරතුරක් මත එම නිවසේ සිදු කළ සෝදිසි කිරීමකදී මෙම ගිනි අවිය සොයාගෙන ඇත.
වැල්ලවත්ත පොලිස් ස්ථානයට ලද තොරතුරකට අනුව, නිවාස සංකීර්ණයේ ආරක්ෂක නිලධාරියෙකු විසින් මෙම නිවසේ පදිංචි කාන්තාවක් ගිනි අවියක් රැගෙන යන බව දැක පොලිසියට දැනුම් දී තිබේ. ඒ අනුව, ක්ෂණිකව ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් එම ස්ථානයට පැමිණ නිවස පරීක්ෂා කිරීමේදී ගමන් මල්ලක සඟවා තිබූ රන් ආලේපිත ටී-56 ගිනි අවියක් සොයා ගැනීමට හැකි වී ඇත.
පොලීසිය සඳහන් කළේ මෙම ගිනි අවිය රැගෙන ආ කාන්තාව 67 හැවිරිදි අයෙකු බවයි. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන දැනටමත් ආරම්භ කර ඇති අතර, ගිනි අවිය රැගෙන ඒමට හේතුව සහ සිද්ධියට සම්බන්ධ අනෙකුත් පුද්ගලයන් පිළිබඳව තොරතුරු සොයා ගැනීමට වැල්ලවත්ත පොලීසිය කටයුතු කරමින් සිටී.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ඉදිරියේදී ලබා දීමට අපේක්ෂා කෙරේ.