හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ 80 වන ජන්ම දිනය සැමරීම සඳහා බණ්ඩාරනායක අනුස්මරණ පදනම විසින් පසුගිය 23 වන බදාදා දින කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා (BMICH) පරිශ්‍රයේදී විශේෂ උත්සවයක් සංවිධානය කර තිබුණි. මෙම අවස්ථාවට දේශීය මෙන්ම විදේශීය ප්‍රභූවරුන් රැසක් සහභාගී වූහ.
මෙම සැමරුම් උත්සවය සඳහා ඇමරිකානු, චීන, ඉන්දියානු සහ යුරෝපීය තානාපතිවරුන් ඇතුළු ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයින් මෙන්ම ප්‍රමුඛ දේශපාලනඥයින් විශාල පිරිසක් එක්ව සිටියහ. ඒ අතර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, හිටපු අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා සහ හිටපු කථානායක කරු ජයසූරිය මහතා ද විය. එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බලවේගය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පැරණි සාමාජිකයින් ඇතුළු විවිධ දේශපාලන පක්ෂ නියෝජනය කරන විශාල දේශපාලනඥයින් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටිම ද විශේෂත්වයකි.
මෙම සමරු උළෙලේ ප්‍රධාන දේශනය පවත්වන ලද්දේ ඉන්දියාවේ හිටපු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරී ශිවශන්කර් මෙනන් මහතා විසිනි. උත්සව සභාවකින් සහ හිටපු ජනාධිපතිනියගේ ජීවිතය හා කාර්යභාරය පිළිබඳ කෙටි චිත්‍රපටයක් ප්‍රදර්ශනය කිරීමෙන් අනතුරුව, 'කමත' නම් විශේෂ පරිශ්‍රයේදී රාත්‍රී භෝජන සංග්‍රහයක් ද පවත්වා ඇත.
කෙසේ වෙතත්, හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන යන මහත්වරුන් ඇතුළු ඇතැම් ප්‍රමුඛ දේශපාලන චරිත මෙම අවස්ථාවට සහභාගී නොවීම බොහෝ දෙනාගේ අවධානයට ලක්විය. ඒ පිළිබඳව මාධ්‍යවේදීන් විමසූ විට හිටපු ජනාධිපතිනිය, "මම මේ උත්සවයට ආරාධනා කළේ මා කැමති අයට පමණයි" යනුවෙන් කෙටි පිළිතුරක් ලබා දී තිබේ.
