අද උදෑසන කොළඹ, කනත්ත වටරවුම ආසන්නයේ සිදුවූ දොඹකර අනතුරකින් එක් පුද්ගලයෙකු මියගොස් ඇති අතර, වාහන රැසකට හානි සිදුව තිබේ.
මෙම අනතුර සිදුව ඇත්තේ රාජගිරිය දෙස සිට බෞද්ධාලෝක මාවත දෙසට ධාවනය වෙමින් තිබූ දොඹකරයක්, කනත්ත වටරවුමේ මාර්ග සංඥා අසල නවතා තිබූ යතුරුපැදි 6ක සහ මෝටර් රථ 3ක ගැටීමෙනි.
අනතුරට සම්බන්ධ දොඹකර රියදුරු අනතුර සිදුවන අවස්ථාවේදී කංසා පානය කර සිට ඇති බවට වෛද්‍ය පරීක්ෂණවලින් අනාවරණය වී ඇතැයි පොලිසිය අද (28) සඳහන් කළේය.
පොලිසිය වැඩිදුරටත් කියා සිටියේ, අනතුරට සම්බන්ධ දොඹකර රියදුරුට සිදුකළ වෛද්‍ය පරීක්ෂණයකදී මෙම තොරතුර හෙළිවී ඇති බවයි.
අනතුරින් තුවාල ලැබූ පුද්ගලයන් හත් දෙනෙකු මේ වනවිට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව රෝහල් ආරංචි මාර්ග පැවසීය. තුවාල ලැබූවන්ගෙන් එක් අයෙකු රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදී මියගොස් ඇති බව පොලිසිය ප්‍රකාශ කළේය.
අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 62ක් වූ අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෙම මරණය කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා විසින් ද තහවුරු කර තිබේ. අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක බව පොලිසිය සඳහන් කළේය.
