ගුවන්විදුලියෙන් බිහි වූ විශිෂ්ට ගායිකාවක ලෙස සැලකෙන ග්‍රේටා ජෙනට් ද සිල්වා මහත්මිය පෙරේදා රාත්‍රියේ සිය දිවිසැරිය නිම කර ඇත. අභාවප්‍රාප්ත වන විට ඇය 99 වැනි වියේ පසු විය. ඇය ඉපදී ඇත්තේ 1926 මැයි මස හයවෙනිදාය.
දරුවන් පස්දෙනෙකුගේ ආදරණීය මෑණියන් වූ ග්‍රේටා ජෙනට් ද සිල්වා මහත්මිය, හෙන්රි ලුකස් රණසිංහ මහතාගේ ආදරණීය බිරිඳ වූවාය. කලක් රෝගාතුරව සිටි ඇය මෙලෙස අභාවප්‍රාප්ත වූ බව ග්‍රේටා මහත්මියගේ මිණිපිරියක වන නදීකා රණසිංහ මහත්මිය මාධ්‍යට තහවුරු කළාය.
ලංකාවේ පළමු ග්‍රැමෆෝන් ගායිකාව ලෙසද ඉතිහාසයට එක් වූ ග්‍රේටා ජෙනට් ද සිල්වා මහත්මිය, දශක ගණනාවක් පුරා ගුවන්විදුලි මාධ්‍ය ඔස්සේ ගීත රැසක් ගායනා කරමින් රසික හදවත් දිනා ගෙන ඇත.
ඉතා ඉක්මනින් ග්‍රැමෆෝන් ලෝකයේ ස්වර්ණාක්‍ෂරයෙන් සිය නාමය තැබීමට සමත් වූ ග්‍රේටා ජෙනට් මහත්මිය කොළොම්බියා සමාගමේ ප්‍රධාන ගායිකාව වී ඇත. කොළොම්බියා රැකෝඩ් සඳහා ග්‍රේටා සරල ගී, සරල ශාස්ත්‍රීය ගී, කපිරිඤ්ඤා ආදී විවිධ ශෛලීන්වල ගීත ගායනා කළා ය.
ඇය ගායනා කළ "මුණි නන්දන සිරිපාද වඳිම් සමනොළ කන්දේ”, “පුංචි නංගි එයි දැන් තාත්තා අපේ”, “නුඹෙ අම්මත් කලුම කලුයි නුඹෙ අප්පත් කලුම කලුයි”, “මල්ලි නංගි එන්න අම්මට වඳින්න”, “මගේ පනවැනි පුංචි නංගි සැනසෙන්න නාඩා” වැනි ගීත ශ්‍රාවකයන් අතර අතිශයින් ජනප්‍රිය විය. මීට දශක කීපයකට පෙර ගුවන්විදුලියේ “පැරැණි රසාංග” වැනි වැඩසටහන් ඔස්සේ ඇයගේ ගීත නිතර ප්‍රචාරය වන්නට විය.
ග්‍රේටා ජෙනට් ද සිල්වා මහත්මියගේ දේහය මේ වන විට මීගමුව, කට්ටුව, හලාවත පාරේ අංක 115 දරණ ඇයගේ නිවසේ තැන්පත් කර ඇති අතර, ඇයට ආදරය කරන රසික ජනතාවට සහ හිතවතුන්ට අවසන් ගෞරව දැක්වීම සඳහා එය විවෘතව තබා ඇති බව පැවසේ.
දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (05) දින සවස කට්ටුව පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිත බව ද නදීකා රණසිංහ මහත්මිය වැඩිදුරටත් පවසා ඇත.